අපි ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා සමනළයෝ වන්නෙමු

අපේම ඡන්දයෙන් පත් වූ, මේ රටේ ජනමතය පාවා දුන්, රටේ ‘පළමු පුරවැසියා’ විසින් තමන්ගේ නැති වී යන ජනප්‍රියත්වය රැක ගත හැකි යැයි සිතා, තමන් කරන ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩ සාධාරණීකරණය කළ හැකි යැයි සිතා ලිංගික දිශානතිය ඉලක්ක කර ගෙන දේශපාලන විරුද්ධවාදීන්ට සහ පොදුවේ ලාංකීය සමකාමී ප්‍රජාවට රිදවීමේ සහ අපහාස කිරීමේ අරමුණෙන් සමනළයා යන වචනය භාවිතා කර තිබේ. එයට විරෝධය පළ කිරීමක් ලෙස ද, අඛණ්ඩව සිවිල් සමාජ ක්‍රියාකාරීන් විසින් සිදු කළ මෙම විරෝධතාවයට සහයෝගයක් පළ කිරීමක් ලෙස ද අපි අද මෙතැනට පැමිණ සිට ගනිමු.

ඔහුගේ සමනළ කතාවෙන් අපට රිදුනේ නැත. අපි තවත් ශක්තිමත් වූයෙමු. සමනළයා කියන්නේ සමාජ වෙනස, බලාපොරොත්තුව සහ ජීවිතය ගැන මෙන්ම, විවිධත්වයේ ද සංකේතයකි. එහෙත් ඔහු ප්‍රමුඛ ‘වත්මන් රජයේ’ අනෙකුත් දේශපාලනඥයන් විසින් ප්‍රජාතන්ත්‍රවාදයේ වටිනාකම් පාවා දීම ගැන අපට රිදී ඇත. මහජන ඡන්දයෙන් පත් වූ දේශපාලනඥයෝ කෝටි ගණන්වල ලන්සුවලට විකිණෙන වෙළෙඳ භාණ්ඩ වී තිබීම ගැන අපට රිදී ඇත.

මානව හිමිකම් අමු අමුවේ උල්ලංඝණය කරමින්, මාධ්‍යවේදීන්ට, සමාජ ක්‍රියාකාරීන්ට පහර දෙමින්, ඇතැම් අය මරා දමමින්, නීතිය සහ ප්‍රජාතන්ත්‍රවාදය අමුඅමුවේ උල්ලංඝණය කළ පසුගිය රජය පරාජය කිරීමට අපි බොහෝ දෙනෙක් ඔහුට 2015 වසරේ දී සහයෝගය දුන්නෙමු. ඔහු කෙරේ අප විසින් තැබූ විශ්වාසය පාවා දෙමින්, මහජන ඡන්දයෙන් පරාජය කරන ලද පසුගිය රජයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී එම පාලකයන් සමගම නැවත අත්වැල් බැඳ ගෙන කුමන්ත්‍රණකාරී ලෙස බලය අල්ලා ගැනීමේ ඒ පිළිකුල් සහගත ක්‍රියාව අපි තරයේ හෙළා දකිමු.

ඔහු සිදු කළ පාවාදීම වසා ගැනීමට සමලිංගිකභීතිකාව ආවුදයක් ලෙස භාවිතා නොකරන ලෙසත්, ශ්‍රී ලාංකීය සමකාමී ප්‍රජාවට අභිමානයෙන්, ගෞරවයෙන්, සහ නීතියේ සහ යුක්තියේ සමානත්මතාවය සහිතව ජීවත් වීමට ඉඩ සැලසීමට ඔහු ඇතුළු සියලු දේශපාලන පක්ෂ සහ ජනතා නියෝජිතයන් විසින් කටයුතු කළ යුතු බව අපි තරයේ මතක් කරමු.

ඒ අතරම වර්තමානයේ සිදු වෙමින් පවතින ඒක පාර්ශ්වික මාධ්‍ය වාර්තාකරණය සහ ජනමාධ්‍ය වෙත කරන ලද දේශපාලන ඇඟිලි ගැසීම් දැඩි පිළිකුළෙන් යුතුව අපි තරයේ හෙළා දකිමු. මාධ්‍ය නිදහස යනු ප්‍රජාතන්ත්‍රවාදයේ අත්තිවාරම වන්නේය.

සමලිංගිකභීතිකාව යනු බ්‍රිතාන්‍යයන් විසින් හඳුන්වා දෙන වික්ටෝරියානු සදාචාරයෙන් උපදින අධිරාජ්‍යවාදී උරුමයකි. අදට නිදහස ලබා වසර 70ක් ගත වී ඇත. එදා බ්‍රිතාන්‍ය පාලකයන් විසින් ඉටු කළ කොන්ත්‍රාත්තුව අද ඔහු වැනි අපේම දේශපාලනඥයෝ අපට එරෙහිව සිදු කර ගෙන යති. අප පමණක් නොව සියලු සුළුතර ජන කොටස්වල අයිතීන් බිල්ලට දී, ජාතිවාදය, ආගම්වාදය, වාර්ගික ගැටුම් වපුරා, ප්‍රජාතන්ත්‍රවිරෝධී ලෙස බලය රැක ගත හැකි යැයි ඔවුහු විශ්වාස කරන්නේ නම් එය බරපතල වැරදීමක් වන්නේය.

මේ සිදුවෙමින් පවතින ප්‍රජාතන්ත්‍රවිරෝධී බලලෝභී කුමන්ත්‍රණය ‘සමනළ’ ප්‍රජාව ලෙස අපි තරයේ හෙළා දකිමු. මිනිස් අයිතිවාසිකම් සුරක්ෂිත වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක බැව් අපේ විශ්වාසයයි. එය සුරක්ෂිත කිරීම වෙනුවෙන් අපි ‘සමනළයෝ’ අඛණ්ඩව සටන් කරන්නෙමු. ප්‍රචණ්ඩත්වයේ කුරිරු කුළු ගෙඩි පහරට වඩා, සාධාරණත්වය, සාමය, ගරුත්වය වෙනුවෙන් නැගෙන සමනළ තටු හඬින්ද ලෝකය වෙනස් කළ හැකිය. ඒ නිසා අපි ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා සමනළයෝ වන්නෙමු. අපට කරන සෑම අපහාසයක්ම, පහර දීමක්ම එකී අරගලය වෙනුවෙන් අපට කරන දිරිමත් කිරීමක්ම වන්නේය.

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සමනළයෝ

2018 නොවැ 07
ලිබර්ටි වටරවුම, කොළඹ