“සමාන බව සිතීමේ” නාමයෙන් පෙර පාසල් දරුවන්ට සමලිංගිකත්වය ඉගැන්වීමේ ව්‍යාපෘතියක් යනුවෙන් 2018.03.27 වන දින මාධ්‍ය සාකච්ඡාවකදී මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි දැක්වූ අදහස්වලට ප්‍රතිචාර දැක්වීම

30-03-2018

මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
සභානායක,
මහජන රාජ්‍ය සභාව,
544/ඒ,
නාවල පාර,
රාජගිරිය.

ගරු කටයුතු ස්වාමීන් වහන්ස,

“සමාන බව සිතීමේ” නාමයෙන් පෙර පාසල් දරුවන්ට සමලිංගිකත්වය ඉගැන්වීමේ ව්‍යාපෘතියක් යනුවෙන් 2018.03.27 වන දින මාධ්‍ය සාකච්ඡාවකදී ඔබවහන්සේ දැක්වූ අදහස්වලට ප්‍රතිචාර දැක්වීම.

ඊක්වල් ග්‍රවුන්ඩ් ආයතනය යනු ශ්‍රී ලංකාවේ ජීවත්වන සමරිසි, ද්විරිසි, සංක්‍රාන්ති සමාජභාවීය, අන්තර් ලිංගික හා තම ලිංගික අනන්‍යතාවය හා ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අනන්‍යතාවය ප්‍රශ්නභාවී ප්‍රජාවගේ (LGBTIQ) සමාජයීය, දේශපාලනික හා සංස්කෘතික අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කරන සංවිධානයකි. ඊක්වල් ග්‍රවුන්ඩ් ආයතනයේ මූලිකම අරමුණ ශ්‍රී ලංකාවේ ජීවත්වන සමරිසි, ද්විරිසි, සංක්‍රාන්ති සමාජභාවීය, අන්තර් ලිංගික හා තම ලිංගික අනන්‍යතාවය හා ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අනන්‍යතාවය ප්‍රශ්නභාවී ප්‍රජාවට කිසිදු ආකාරයක හිරිහැරයකින් කරදරයකින් තොරව ජීවත්වීමට අවශ්‍ය පරිසරය සකස් කර දීමයි. 1883 වර්ෂයේදී බ්‍රිතාන්‍ය යටත්විජිතවාදීන් විසින් හඳුන්වා දුන් ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයට අනුව ඔවුන් අපරාධකරුවන් හා සමාජ අපගාමීන් ලෙස සලකන අතර අධ්‍යාපන, සෞඛ්‍ය සේවා, රැකියා, නීතිමය හා සමාජ සේවා සපයන ආයතනවලදී ඔවුන් විවිධාකාරයේ වෙනස්කොට සැලකීමට, හිරිහැරවලට ලක්කිරීමට ලක්වේ.

මේ නිසා ඔවුන්ට නිසි අධ්‍යාපන අවස්ථාවන් ලබාදීම, වෙනස්කොට සැලකීම්වලින් තොරව සෞඛ්‍ය පහසුකම් ලබාගැනීම, නීතිමය වශයෙන් සාධාරණයක් ලබාදීම, පොලිස් වධ හිංසාවලින් ආරක්ෂා කිරීම, මානසික උපදේශනය සැපයීම යනාදිය වෙනුවෙන් ඊක්වල් ග්‍රවුන්ඩ් සංවිධානය කටයුතු කරයි. ඊක්වල් ග්‍රවුන්ඩ් ආයතනය සෑමවිටම ක්‍රියාකරන්නේ රටේ නීතිය හා ව්‍යවස්ථාවට අනුකූලව වන අතර ව්‍යවස්ථාමය හෝ නීතිමය රාමුවෙන් පිටතට යන කිසිදු ආකාරයේ ක්‍රියාවකට අනුබල දෙන්නේ නැත. විශේෂයෙන් ඊක්වල් ග්‍රවුන්ඩ් ආයතනය වයස අවුරුදු 18 ට අඩු දරුවන්ට අදාළව කිසිදු ක්‍රියාකාරකමක් සිදු නොකරන අතර, එවැනි ක්‍රියාවලට කිසිදු ආකාරයක අනුබල දීමක් හෝ එවැනි ක්‍රියාවන් සිදුකරන කිසිදු සංවිධානයක් සමග අත්වැල් බැඳගන්නේ හෝ නැත. එමෙන්ම සියලුම සමරිසි මිනිසුන් යනු ළමා අපචාරකයන්ය යනුවෙන් හා සමරිසියන් වෙනුවෙන් වැඩ කරන සංවිධානවල ඉලක්කය විෂම ලිංගික දරුවන් සමරිසියන් බවට පත්කිරීම යැයි වැරදි අදහසක් සමාජ ගත වෙමින් පවතී. ඊක්වල් ග්‍රවුන්ඩ් ආයතනය හෝ අප විසින් සිදුකරනු ලබන කිසිදු වැඩසටහනක හෝ එවැනි ආකාරයේ න්‍යාය පත්‍රයක් නොමැති බව දන්වා සිටිමි. ඔබවහන්සේ විසින් සිදුකරන ලද මාධ්‍ය සාකච්ඡාවේදී පෙරපාසල් දරුවන් හා පූර්ව ළමාවිය සංවර්ධනය වෙමින් පවතින වයසේ දරුවන් ඉලක්ක කරගනිමින් තින්ක් ඊක්වල් (Think Equal) නැමැති සංවිධානය විසින් සිදුකරනු ලබන වැඩසටහනක් පිළිබඳව ප්‍රකාශ කිරීමේදී ඊක්වල් ග්‍රවුන්ඩ් ආයතනයේ නමද ඈදාගනිමින් කරුණු ප්‍රකාශ කර තිබුණි. මෙම ලිපිය මගින් අප විසින් ගෞරව පූර්වකව ඔබ වහන්සේට දන්වා සිටින්නේ තින්ක් ඊක්වල් සංවිධානය සමග ඊක්වල් ග්‍රවුන්ඩ් සංවිධානයේ කිසිදු ආකාරයක සම්බන්ධකමක් හෝ ඔවුන් විසින් සිදුකරන කිසිදු ක්‍රියාකාරකමක් පිළිබඳ අපගේ වගකීමක් නොමැති බවයි. එමෙන්ම වයස අවුරුදු 18 ට වැඩි සමරිසි, ද්විරිසි, සංක්‍රාන්ති සමාජභාවීය, අන්තර් ලිංගික හා තම ලිංගික අනන්‍යතාවය හා ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අනන්‍යතාවය ප්‍රශ්නභාවී ප්‍රජාව වෙනුවෙන් අප විසින් සිදුකරන සියලුම ආකාරයේ වැඩසටහන් පිළිබඳ විනිවිදභාවය හා වගකිම් සහගත භාවය අප විසින් භාර ගන්නා බවයි.

ඊක්වල් ග්‍රවුන්ඩ් ආයතනය විසින් සිදුකරනු ලබන මානව හිමිකම් කාර්යයන් පිළිබඳ ඕනෑම අවස්ථාවකදී පරීක්ෂා කිරීමේ හෝ ප්‍රශ්න කිරීමේ අයිතිය ශ්‍රී ලංකාවේ ඕනෑම පුරුවැසියෙකුට ලබාදිය හැකිවන අතර, මේ පිළිබඳ ඔබ වහන්සේ ඇතුළු සංඝ රත්නය හමුවී කරුණු පැහැදිලි කිරීමටද අප සූදානම් බව ගෞරව පූර්වකව දැනුම් දෙමු.

එමෙන්ම ශ්‍රී ලංකාවේ වෙසෙන සමරිසි, ද්විරිසි, සංක්‍රාන්ති සමාජභාවීය, අන්තර් ලිංගික හා තම ලිංගික අනන්‍යතාවය හා ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අනන්‍යතාවය ප්‍රශ්නභාවී ප්‍රජාව වර්තමානයේදී මුහුණපාන විවිධ ප්‍රශ්න හා ඔවුන් විසින් දෛනිකව මුහුණ දෙන විවිධ හිරිහැර යනාදිය පිළිබඳවද ඔබ වහන්සේලාගේ අවධානය යොමුකරනු කැමැත්තෙමු. මෙලෙස තම ලිංගික හෝ මානසික කැමැත්ත නිසා විවිධාකාරයේ ගැටළුවලට මුහුණපාන, ඒ නිසාම සියදිවි නසාගන්නා හෝ විවිධාකාරයේ මානසික ප්‍රශ්නවලින් හෙම්බත් වෙන, බොහෝ අවස්ථාවලදී තම උපන් මව්රට හැරදා යන ඉතා දක්ෂ හා දීප්තිමත් අනාගතයක් හිමි දහස් සංඛ්‍යාත සමරිසි, ද්විරිසි, සංක්‍රාන්ති සමාජභාවීය, අන්තර් ලිංගික හා තම ලිංගික අනන්‍යතාවය හා ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අනන්‍යතාවය ප්‍රශ්නභාවී ප්‍රජාවගෙන් බහුතරයක් සිංහල බෞද්ධ අපේම මිනිසුන් වන බවද මතක් කරනු කැමැත්තෙමු. ඔවුන් සූරාකෑමෙන්, අපයෝජනය කිරීමෙන් හා දණ්ඩනයට ලක්කිරීමෙන් වළක්වා ගැනීමේ අභියෝගයට සමාජයක් වශයෙන් අපට මුහුණ දීමට සිදුවී ඇත. වසර 14 ක පමණ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ වෙසසෙන සුළුතර ලිංගික ප්‍රජාවට විවිධාකරයෙන් සේවා ලබාදීමෙන් අප විසින් ලබාගත් දැනුම, අත්දැකීම් හා ඔවුන් විසින් සමාජයෙන් ඉල්ලා සිටින්නේ මොනවාදැයි ඔබ වහන්සේලා සමග සාකච්ඡා කිරීමට අපි කැමැත්තෙමු. එමෙන්ම ඔවුන්ට එරෙහිව සිදුවන විවිධාකාරයේ හිංසන මගින් සිදුවන්නේ ශ්‍රී ලංකා ව්‍යවස්ථාවේ සඳහන් වන මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වීමකි.

අන්තර් ජාතික මනෝ විද්‍යා සංගමය, ලෝක සෞඛ්‍ය සංවිධානය යනාදී ලෝකයේ සෞඛ්‍ය සම්බන්ධ නිර්දේශ සපයන ජාත්‍යන්තර ආයතන පවා සමරිසිභාවය මානසික රෝගයක් හෝ ඇබ්බැහියක් නොව පුද්ගලයින්ගේ ජානමය හා මනස සකස්වෙන ආකාරය අනුව උපතින් තීරණය වන සාධකයක් බව පැහැදිලි කර තිබියදීත්, ඔවුන්ට එරෙහිව විවිධාකාරයේ හිංසන හා ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකිරීමත්, ඔවුන් සමාජයෙන් කොන්කිරීමට උත්සාහ කිරීමත් බෞද්ධ දර්ශනයේ මූලික ඉගැන්වීම්වලට පටහැණි වන බව අපගේ විශ්වාසයයි. ඔබ වහන්සේම ප්‍රකාශ කරන පරිදි ශ්‍රී ලාංකික සිංහල බෞද්ධයින් ලෙස අපි සියලුම සත්ත්වයින්ට කරුණාවෙන් හා මෛත්‍රියෙන් යුතුව සලකන අතර බෞද්ධයින් ලෙස සමාජ සමානත්වය හා සියලු ජාතීන්ට, සියලු වර්ගවලට, සියලු කුලවලට හා සියලු ලිංගික අනන්‍යතාවන්ගෙන් යුක්ත හා ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අනන්‍යතාවන් අයට සමානව ජීවත්වීමේ පරිසරයක වැදගත්කම ප්‍රගුණ කර ඇත්තෙමු. එහෙත් ප්‍රායෝගිකව එම තත්ත්වය එලෙසම සිදු නොවන අතර, ශ්‍රී ලංකාවේ ජීවත්වන විවිධ ලිංගික අනන්‍යතාවලින් යුතු ප්‍රජාව තමන් වෙනුවෙන් සාධාරණයක් ඉටුවෙන තුරු බලා සිටී. ඒ සඳහා ඔබ වහන්සේලාගේ නොමඳ කරුණාව හා ආශිර්වාදය අපි අපේක්ෂා කර සිටිමු.

අවසානයේ නැවත වතාවක් අප විසින් සහතික කර කියා සිටින්නේ තින්ක් ඊක්වල් සංවිධානය සමග අප සංවිධානයට කිසිදු ආකාරයක සම්බන්ධතාවයක් නොමැති අතර ඔවුන් විසින් සිදුකරන කිසිදු ආකාරයේ වැඩසටහනකට අපගේ අනුබලය නොලැබෙන බව ගෞරව පූර්වකව සඳහන් කරනු කැමැත්තෙමු. මේ පිළිබඳ ඔබ වහන්සේලා සමග ඕනෑම සාකච්ඡාවකට අපව සම්බන්ධ කරගැනීමට කරුණාකර equalground@gmail.com යන ඊමේල් ලිපිනයෙන් හෝ 0112806186 යන දුරකථන අංකයෙන් අපව සම්බන්ධ කරගන්න.

ඔබ වහන්සේලාගේ සියලු කටයුතු සාර්ථක වේවා!

ස්තූතියි.

මෙයට

විශ්වාසී,

රොසෑනා ෆ්ලේමර් කල්දේරා
විධායක අධ්‍යක්ෂිකා
ඊක්වල් ග්‍රවුන්ඩ්