ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය හරහා නිර්අපරාධීකරණය සහ වෙනස්කොට නොසැලකීම පිලිබඳ නිර්දේශ ඉදිරිපත් කරයි.

EQUAL GROUND ආයතනය විසින්, ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය යටතේ රාජ්‍යයන්ට ඇති වගකීම් සමාලෝචනය කිරීමේ කමිටුව විසින් ශ්‍රී ලංකා රජයට ඉදිරිපත් කර ඇති නිර්දේශ පිළිගනු ලැබේ. EQUAL GROUND ආයතනය විසින් 2017 වසරේදී පැවැත්වූ 77 වන ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය සමුළුවට ඉදිරිපත් කරන ලද තේමාත්මක වාර්තාව මත පදනම්ව, සමරිසි කාන්තා, සමරිසි පුරුෂ, ද්විරිසි, සංක්‍රාන්ති සමාජභාවී සහ අන්තර්ලිංගික (LGBTI) ළමුන්ට එරෙහිව සිදුවන වෙනස්කොට සැලකීම් මැඩලීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ක්‍රියාකාරී හා සවිස්තරාත්මක උපයමාර්ග සැලසුම් සහ මනා ලෙස ඉලක්ක නිර්ණය කොටගත් ක්‍රියාමාර්ග ගතයුතු බවට වෙනස්කොට සැලකීම් පිලිබඳ ගැටළු සඳහා වන කමිටුව විසින් නිර්දේශ කරන ලදී. තවද, සම-ලිංගික සබඳතා නිර්අපරාධීකරණය කිරීම, නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් අතින් සංක්‍රාන්ති සමාජභාවී ළමුන්ට එරෙහිව සිදුවන හිංසනවලට වැටබැඳීම සහ, LGBTI ළමුන්ට සිදුවන ලිංගික අපයෝජන ඇතුළු අනෙකුත් ආකාරවල හිංසන සිදුකරන වැරදිකරුවන් නීතිය හමුවට රැගෙන ඒම හරහා, ශ්‍රී ලංකාව LGBTI ළමුන්ට සිදුවන වෙනස්කොට සැලකීම්වලට එරෙහිව සටන් කළ යුතු බවද ඔවුන් නිර්දේශ කර ඇත.

පාසල් විෂයමාලාව තුළට සමානාත්මතාවය සහ වෙනස්කොට නොසැලකීම සම්බන්ධ අනිවාර්ය වූ ඉගැන්වීමේ පුරුදු ඇතුළත් කිරීම සහ ඒවාට ගැලපෙන අයුරින් ගුරුවරුන් පුහුණු කිරීම ආදී කරුණු ද තවදුරටත් මෙම නිර්දේශ හරහා අවධාරණය කරයි.

ලිංගික අපහරණය සහ අපයෝජනය සම්බන්ධ ගැටළු පිලිබඳ සාකච්ඡා කිරීමේදී, සමරිසිභාවය අපරාධීකරණය කර තිබීම හා ඒ හා සම්බන්ධයෙන් පවතින අපහාසාත්මක තත්ත්වය, සහ ලිංගික අපයෝජන නිසා පිරිමි ළමුන් විසින් මුහුණපෑ හැකි ‘පුරුෂත්වය ගිලිහීම’ වැනි කරුණු සමග බැඳී ඇති ලැජ්ජා සහගත තත්ත්වයන් හේතුකොටගෙන පවතින පුරුෂ දුෂණය පිළිබඳ පවතින අඩු නීතිමය අවධානය සහ පිරිමි ළමුන් මුහුණපාන ලිංගික අපයෝජනයන් පිළිබඳ අඩුවෙන් කරුණු වාර්තාවීම සම්බන්ධයෙන් කමිටුවේ අවධානයට ලක්ව ඇති බවද සඳහන් කර තිබුණි. ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 363 වගන්තිය සංශෝධනය කිරීම මගින් පිරිමි ළමුන් විසින් මුහුණපාන බාලවයස්කාර දුෂණයන් අපරාධීකරණය කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග ද මෙම කමිටුව විසින් නිර්දේශ කරයි. තවදුරටත්, මේ සම්බන්ධයෙන් දැනුවත්භාවය වර්ධනය කිරීම, හිංසන පිළිබඳ පවතින අපහාසාත්මක තත්ත්වය නැතිකිරීම සහ හිංසන පිළීබඳ පැමිණිලි කිරීම සඳහා ළමා-හිතකාමී, රහසිගත හා පහසුවෙන් ලඟාවිය සේවා ඇතිකිරීම තුළින් හිංසන පිලිබඳ තොරතුරු වාර්තා කිරීමේ ක්‍රියාවලිය ධෛර්‍යමත් කිරීම ආදී දෑ සිදුකිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ඔවුන් විසින් රජයට බලකර සිටී.

LGBTI ප්‍රජාව සම්බන්ධයෙන් වන පහත දැක්වෙන නිර්දේශ අවධානය යොමුකිරීමට අපි කැමැත්තෙමු.

C කොටස. පොදු ප්‍රතිපත්ති
වෙනස්කොට නොසැලකීම

16. වැඩිහිටියන්ට වඩා ළමුන් යටහත් බවට පවතින පුළුල් මතය නැතිකිරීම සහ ළමුන්ට අයිතිවාසිකම් හිමි පුද්ගලයින් ලෙස සැලකීමට, වැඩිහිටියන් සහ ළමුන් ඉලක්ක කොටගත් දැනුවත්භාවය වර්ධනය කිරීමේ ක්‍රියාමාර්ග ගැනීම සඳහා මෙම කමිටුව විසින් රාජ්‍යය පාර්ශවය උනන්දු කර සිටී.
තවද, රාජ්‍යය පාර්ශවයන් විසින් පහත දැක්වෙන දෑ සිදුකිරීම සුදුසු බව කමිටුව විසින් නිර්දේශ කර සිටී.

b) වෙනස්කොට සලකන සුළු හෝ අවදානම් සහගත තත්ත්වවල සිටින ගැහැණු ළමුන් ඇතුළු ළමුන්, ජනවාර්ගික හෝ ආගමික-ජනවාර්ගික හෝ සුළුතර ආදිවාසී කණ්ඩායම්වලට අයත් ළමුන්, කුල සංකල්පය මත පදනම්වූ වෙනස්කොට සැලකීම්වලට ලක්ව ඇති ළමුන්, ග්‍රාමීය පලාත්වල ජීවත්වන ළමුන්, සරණාගතවූ හෝ අභ්‍යන්තරව ඉවත්කිරීම්වලට ලක්වූ ළමුන්, වීදිවල ජීවත්වන ළමුන්, විදේශගත රැකියා නියුක්තිකයින්ගේ ළමුන්, විවිධ ආයතනවල රැකවරණය යටතේ සිටින ළමුන්, අබාධිත ළමුන් සහ සමරිසි කාන්තා, සමරිසි පුරුෂ, ද්විරිසි, සංක්‍රාන්ති සමාජභාවී සහ අන්තර්ලිංගික (LGBTI) ළමුන්ට එරෙහිව සිදුවන වෙනස්කොට සැලකීම් තුරන් කිරීමට අවශ්‍ය සමාජමය ක්‍රියාමාර්ග ඇතුළු, මනා ලෙස සැලසුම් සහ ඉලක්ක කරන ලද ක්‍රියාමාර්ග ඇතුළත් පුළුල්, ක්‍රියාකාරී උපායමාර්ග අනුගමනය කිරීම.

c) සම්මතික සම-ලිංගික සබඳතා නිර්අපරාධීකරණය කිරීම, නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් අතින් සංක්‍රාන්ති සමාජභාවී ළමුන්ට එරෙහිව සිදුවන හිංසනවලට වැටබැඳීම සහ, LGBTI ළමුන්ට සිදුවන ලිංගික අපයෝජන ඇතුළු අනෙකුත් ආකාරවල හිංසන සිදුකරන වැරදිකරුවන් නීතිය හමුවට රැගෙන ඒම හරහා LGBTI ළමුන්ට සිදුවන වෙනස්කොට සැලකීම්වලට එරෙහිව සටන් කිරීම.

f) වෙනස්කොට නොසැලකීම සහ සමානාත්මතාවය පිළිබඳ පරිච්ඡේදයක් සෑම වයසකම ළමුන් සඳහා වන අනිවාර්ය පාසැල් විෂය නිර්දේශයට ඇතුලත් කිරීම, ඒ හා සම්බන්ධ ඉගැන්වීම්වලට අවශ්‍ය කරුණු මනා ලෙස යොදාගැනීම සහ ඒ සම්බන්ධයෙන් ගුරුවරුන්ව නිරන්තරයෙන් පුහුණු කිරීම.
E කොටස. ළමුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය
ලිංගික අපහරණය සහ අපයෝජනය

23. ළමුන් විසින් මුහුණපාන ලිංගික අපහරණ සහ අපයෝජන වලට එරෙහිව සටන්කිරීමට ගෙන ඇති වෑයම් පිළීබඳ දැනුම් දීමෙන් පසුව පවා, කමිටුව විසින් විසින් පහත දැක්වෙන කරුණු කෙරෙහි දැඩි ලෙස සැලකිලිමත් විය.

b) පිරිමි දුෂණය සම්බන්ධයෙන් පවතින අප්‍රමාණවත් නීතිමය අවධානය සහ සමරිසිභාවය අපරාධීකරණය කර තිබීම, ඒ හා සම්බන්ධයෙන් පවතින අපහාසාත්මක තත්ත්වය සහ ලිංගික අපයෝජන නිසා පිරිමි ළමුන් විසින් මුහුණපෑ හැකි ‘පුරුෂත්වය ගිලිහීම’ වැනි කරුණු හේතුවෙන් පිරිමි ළමුන් ලක්වන ලිංගික අපයෝජනයන් පිළිබඳ අඩුවෙන් කරුණු වාර්තාවීම.

24. ළමුන් යොදා වැඩිහිටි චිත්‍රපට නිපදවීම ඇතුළු ළමා අපයෝජන හා අපහරණ වැලැක්වීම සහ ළමා වින්දිතයින් සම්බන්ධ සමාජ අනුකුලතාවය සහ නැවත පෙර තත්ත්වයට පත්වීම ප්‍රවර්ධනය කිරීම සඳහා ඵලදායී සහ පුළුල් ප්‍රතිපත්තියක් ගොඩනැගීමට රාජ්‍ය පාර්ශවවලට කමිටුව විසින් බලකර සිටී. මෙහිදී ළමුන්ව අවධානම් තත්ත්වවලට පත්වීමට හේතුවන මුලික හේතුද සැලකිල්ලට ගත යුතුය. රාජ්‍ය පාර්ශව විසින් පහත ක්‍රියාමාර්ග ගතයුතු බව එම කමිටුව විසින් තවදුරත් බලකර සිටී.

b) පිරිමි ළමුන් විසින් මුහුණපාන බාලවයස්කාර දුෂණයන් අපරාධීකරණය කිරීම සඳහා දණ්ඩ නීති සංග්‍රහයේ 363 වගන්තිය ප්‍රතිශෝධනය කිරීම, පිරිමි ළමුන් විසින් මුහුණපාන දුෂණය පිලිබඳ වාර්තාකිරීම් දිරිමත් කිරීම සඳහා මහා පරිමාණ දැනුවත්භාවය වැඩිකිරීමේ ක්‍රියාමාර්ග ගැනීම, ඒ හා සම්බන්ධයෙන් පවතින අවමන් සහගත සැලකීම් දුරු කිරීම සහ එවැනි හිංසන සම්බන්ධයෙන් වාර්තාකිරීමට පහසුවෙන් ලඟා විය හැකි, රහසිගත, ළමා-හිතකාමී වාර්තාකිරීමේ විධික්‍රම ඇතිකිරීමට කඩිනම් පියවර ගැනීම.

හරහා සම්පුර්ණ අවසන් නිරීක්ෂණ වාර්තාව කියවිය හැක.