Zonta Women of Achievement 2017 - ශ්‍රී ලංකාවේ විවිධ ලිංගික අනන්‍යතා සහිත හා ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අනන්‍යතාවලින් යුතු ප්‍රජාව වෙනුවෙන් සිදුකළ දායකත්වය ඇගයීමේ සම්මානය.

ඊක්වල් ග්‍රවුන්ඩ් ආයතනය සාඩම්බරයෙන් යුතුව දැනුම්දෙන්නේ අපගේ විධායක අධ්‍යක්ෂිකා රොසෑනා ෆ්ලේමර් කල්දේරා මෙනෙවිය ශ්‍රී ලංකාවේ විවිධ ලිංගික අනන්‍යතා හා ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අනන්‍යතා සහාත ප්‍රජාව වෙනුවෙන් සිදුකරන කාර්යයන් වෙනුවෙන් සම්මානයෙන් පිදුම් ලැබූ බවයි. 2017 සැප්තැම්බර් මස 17 වැනි ඉරිදා දිනයේදී සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති කාන්තාවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් වන සොන්ටා (Zonta) සම්මාන උළෙලේදී මෙම සම්මානය ප්‍රදානය කෙරුණි. සොන්ටා එකමුතුව 1985 වර්ෂයේ සිට ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් සහ සමාජ සංවර්ධනය වෙනුවෙන් ඔවුන්ගේ දායකත්වය හා වටිනාකම ඇගයීමට ලක්කරන සංවිධානයකි.

තමන් ලබාගත් සම්මානය පිළිබඳව අදහස් දක්වමින් රොසෑනා ප්‍රකාශ කරන්නේ “මෙය මාගේ හෝ මා විසින් පසුගිය වසර 17ක් තිස්සේ විවිධ ලිංගික අනන්‍යතා සහිත ප්‍රජාව වෙනුවෙන් සිදුකළ කාර්යයන්ගේ ජයග්‍රහණයක් පමණක් නොව අප ප්‍රජාව සමාජය තුළ වැදගත් කොට්ඨාශයක් බව සමාජය විසින් හඳුනාගෙන ඇති බව මෙන්ම ආන්තීකරණයට ලක්වූ අනෙකුත් ප්‍රජාව මෙන්ම විවිධ ලිංගික අනන්‍යතා හා ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අනන්‍යතා සහිත ප්‍රජාවද සමාජය තුළ සුවිශේෂී වන බව හඳුනාගෙන ඇති බවට ලබාදුන් තක්සේරුවකි.”

අප විශ්වාස කරන්නේ රොසෑනා සහ ඊක්වල් ග්‍රවුන්ඩ් ආයතනය විසින් සිදුකරන කාර්යභාරය වර්තමානය වන විට සෙමින් සෙමින් වුවද සමාජගත වෙමින් පවතින බවයි. පසුගිය වසර දහයක පමණ කාලසීමාව සලකා බලත්දී පැවැති අභියෝග හා ප්‍රජාවේ අයගෙන් මෙන්ම සමාජයෙන්ද අපට එල්ලවූ අභියෝගවලට පිළිතුරක් මෙම සම්මානය මගින් සපයන බවයි. ව්‍යාපාර ක්ෂේත්‍රය, විවිධ රජයේ ආයතන හා සමාජ ආයතන දැන් දැන් සමරිසි, ද්විරිසි, සංක්‍රාන්ති සමාජභාවීය, අන්තර් ලිංගික හා තම අනන්‍යතාවය ප්‍රශ්නභාවී ප්‍රජාව පිළිගැනීම හා ඔවුන්ට සහයෝගය දැක්වීම වෙනුවෙන් අවශ්‍ය වෙනස්කම් සිදුකරමින් පැවතීම අප විසින් සිදුකළ කාර්යයන්වල සතුටුදායක ප්‍රතිඵල වේ.

තම සම්මානය ලබාගැනීමෙන් පසුව සමාජයට පණිවුඩයක් ලබාදෙමින් රොසෑනා පවසන්නේ “ඇය විසින් ලබාගත් මෙම සම්මානය කායිකව, වාචිකව, මානසික හා විවිධ ආකාරයෙන් හිංසාවට ලක්වූ වෙනස්කම්වලට ලක්වූ, සමාජය තුළ නොසලකා හැරීමට ලක්වූ මෙන්ම තම අනන්‍යතාවය වෙනුවෙන් අභීතව පෙළගැසුනු සියලුම සමරිසි, ද්විරිසි, සංක්‍රාන්ති සමාජභාවීය, අන්තර් ලිංගික හා තම අනන්‍යතාවය ප්‍රශ්නභාවී ප්‍රජාව පුද දෙන බවයි.. ඔබගේ මුළු ලෝකයම ගිණිගෙන ඇතැයි ඔබ විශ්වාස කරන විටදීත්, ඔබ තනිවී ඇතැයි ඔබට දැනෙන විටදීත් අවස්ථාවන් හා විකල්ප සෑම අවස්ථාවකදීම ලැබිය හැකිය බව විශ්වාස කරන්න. ඔබට මුහුණදීමට සිදුවන සෑම සිදුවීමකදීම ඔබ ක්‍රියාකරන ආකාරය වෙන කාගේවත් නොවේ. එය ඔබේමය. ඔබට එල්ලකරන සියලුම ගල් පහරවල් එකතුකරන්න. එක් එක් ගල එකතුකර ඒවායෙන් ඔබගේම මාලිගාවක් සාදාගන්න. ඊයේ දිනයේදී, අද දිනයේදී හා විවිධ ලිංගික අනන්‍යතා සහිතවූවන්ගේ අයිතිවාසිකම් දිනාගන්නා තෙක් අවසන් නොවන මාගේ සටනේ හෙට දිනයේදීත් මා කරන්නේ එයයි”.