ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්සගේ සමසිරි භීතිකාමය ප්‍රකාශය

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් එක් පුවත්පත් සාකච්ඡාවකදී පවසා ඇත්තේ “ මම සමලිංගික (සමරිසි) පුරුෂ හා ගැහැණු, ද්වි සෙනෙහස් හා සංක්‍රාන්ති ලිංගික අයගේ අයිතිවාසිකම් පිළිබඳව දැඩි ලෙස විරුද්ධ වෙමි. මෙය මානුෂිය වුවමනාවක් නොවන අතර අනාගත පරපුර ගොඩනැගීමේදී බාධාවක් වන දෙයක් වේ. විද්‍යාත්මක සම්පරීක්ෂණවලින් අනාවරණය කරගෙන ඇත්තේ මෙවැනි ආතාරයේ හැඟීම් ඇතිවන්නේ දැඩි ආතතිමය ස්වභාවයන් නිසාය. මිනිසුන් දැඩි ආතතියෙන් හෝ එවැනි පරිසරයක වාසය කරන විට මෙවැනි අසාමාන්‍ය හැඟීම් ඇතිවිය හැකිය. උදාහරණයක් ලෙස මිනිසුන් කැලයක වාසය කරනවිට මෙවැනි ආකාරයේ හැසිරීම් දැකිය නොහැකිය. එහෙත් ඔවුන් කූඩු කළහොත් මෙවැනි ආකාරයේ හැසිරීම් දැකිය හැකිවනු ඇත. මම ගැහැණියක් හා පිරිමියෙක් අතර සිදුවන විවාහය විශ්වාස කරන අතර සමරිසි විවාහ අසාමාන්‍ය ලෙස දකිමි. මන්ද ඒවා මිනිස් සංහතිය පරිණාමයට බාධාවක් වන බැවිණි” ලෙසයි.

මෙය වමේ පක්ෂයක් ලෙස ශ්‍රී ලාංකික ජනතාවගේ සමානත්වය පිළිබඳව නිරන්තරව පෙනී සිටින ජනතා විමුක්ති පෙරමුණේ සැබෑ ස්වරූපයද? ඊක්වල් ග්‍රවුණ්ඩ් ආයතනය වෛද්‍ය ජයතිස්සගේ මෙම වෛරී ප්‍රකාශය පිළිකුලෙන් යුතුව හෙළා දකින අතර මෙම ප්‍රකාශය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය කුමක්ද යන්න හා ශ්‍රි ලංකාවේ සමරිසි, ද්විසෙනෙහස්, සංක්‍රාන්ති ලිංගික, අන්තර් ලිංගික හා තම ලිංගික අනන්‍යතාවය පිළිබඳ ප්‍රශ්නභාවී ප්‍රජාවට අදාළ හිමිකම් පිළිබඳව ඔවුන්ගේ ස්ථාවරය කුමක්දැයි ලිපියක් මගින් අසා ඇත්තෙමු.