අපි ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා සමනළයෝ වන්නෙමු

අපේම ඡන්දයෙන් පත් වූ, මේ රටේ ජනමතය පාවා දුන්, රටේ ‘පළමු පුරවැසියා’ විසින් තමන්ගේ නැති වී යන ජනප්‍රියත්වය රැක ගත හැකි යැයි සිතා, තමන් කරන ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩ සාධාරණීකරණය කළ හැකි යැයි සිතා ලිංගික දිශානතිය ඉලක්ක කර ගෙන දේශපාලන විරුද්ධවාදීන්ට සහ පොදුවේ ලාංකීය සමකාමී ප්‍රජාවට රිදවීමේ සහ අපහාස කිරීමේ අරමුණෙන් සමනළයා යන වචනය භාවිතා කර තිබේ. එයට විරෝධය පළ කිරීමක් ලෙස ද, අඛණ්ඩව සිවිල් සමාජ ක්‍රියාකාරීන් විසින් සිදු කළ මෙම විරෝධතාවයට සහයෝගයක් පළ කිරීමක් ලෙස ද අපි අද මෙතැනට පැමිණ සිට ගනිමු.

ඔහුගේ සමනළ කතාවෙන් අපට රිදුනේ නැත. අපි තවත් ශක්තිමත් වූයෙමු. සමනළයා කියන්නේ සමාජ වෙනස, බලාපොරොත්තුව සහ ජීවිතය ගැන මෙන්ම, විවිධත්වයේ ද සංකේතයකි. එහෙත් ඔහු ප්‍රමුඛ ‘වත්මන් රජයේ’ අනෙකුත් දේශපාලනඥයන් විසින් ප්‍රජාතන්ත්‍රවාදයේ වටිනාකම් පාවා දීම ගැන අපට රිදී ඇත. මහජන ඡන්දයෙන් පත් වූ දේශපාලනඥයෝ කෝටි ගණන්වල ලන්සුවලට විකිණෙන වෙළෙඳ භාණ්ඩ වී තිබීම ගැන අපට රිදී ඇත.

මානව හිමිකම් අමු අමුවේ උල්ලංඝණය කරමින්, මාධ්‍යවේදීන්ට, සමාජ ක්‍රියාකාරීන්ට පහර දෙමින්, ඇතැම් අය මරා දමමින්, නීතිය සහ ප්‍රජාතන්ත්‍රවාදය අමුඅමුවේ උල්ලංඝණය කළ පසුගිය රජය පරාජය කිරීමට අපි බොහෝ දෙනෙක් ඔහුට 2015 වසරේ දී සහයෝගය දුන්නෙමු. ඔහු කෙරේ අප විසින් තැබූ විශ්වාසය පාවා දෙමින්, මහජන ඡන්දයෙන් පරාජය කරන ලද පසුගිය රජයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී එම පාලකයන් සමගම නැවත අත්වැල් බැඳ ගෙන කුමන්ත්‍රණකාරී ලෙස බලය අල්ලා ගැනීමේ ඒ පිළිකුල් සහගත ක්‍රියාව අපි තරයේ හෙළා දකිමු.

ඔහු සිදු කළ පාවාදීම වසා ගැනීමට සමලිංගිකභීතිකාව ආවුදයක් ලෙස භාවිතා නොකරන ලෙසත්, ශ්‍රී ලාංකීය සමකාමී ප්‍රජාවට අභිමානයෙන්, ගෞරවයෙන්, සහ නීතියේ සහ යුක්තියේ සමානත්මතාවය සහිතව ජීවත් වීමට ඉඩ සැලසීමට ඔහු ඇතුළු සියලු දේශපාලන පක්ෂ සහ ජනතා නියෝජිතයන් විසින් කටයුතු කළ යුතු බව අපි තරයේ මතක් කරමු.

ඒ අතරම වර්තමානයේ සිදු වෙමින් පවතින ඒක පාර්ශ්වික මාධ්‍ය වාර්තාකරණය සහ ජනමාධ්‍ය වෙත කරන ලද දේශපාලන ඇඟිලි ගැසීම් දැඩි පිළිකුළෙන් යුතුව අපි තරයේ හෙළා දකිමු. මාධ්‍ය නිදහස යනු ප්‍රජාතන්ත්‍රවාදයේ අත්තිවාරම වන්නේය.

සමලිංගිකභීතිකාව යනු බ්‍රිතාන්‍යයන් විසින් හඳුන්වා දෙන වික්ටෝරියානු සදාචාරයෙන් උපදින අධිරාජ්‍යවාදී උරුමයකි. අදට නිදහස ලබා වසර 70ක් ගත වී ඇත. එදා බ්‍රිතාන්‍ය පාලකයන් විසින් ඉටු කළ කොන්ත්‍රාත්තුව අද ඔහු වැනි අපේම දේශපාලනඥයෝ අපට එරෙහිව සිදු කර ගෙන යති. අප පමණක් නොව සියලු සුළුතර ජන කොටස්වල අයිතීන් බිල්ලට දී, ජාතිවාදය, ආගම්වාදය, වාර්ගික ගැටුම් වපුරා, ප්‍රජාතන්ත්‍රවිරෝධී ලෙස බලය රැක ගත හැකි යැයි ඔවුහු විශ්වාස කරන්නේ නම් එය බරපතල වැරදීමක් වන්නේය.

මේ සිදුවෙමින් පවතින ප්‍රජාතන්ත්‍රවිරෝධී බලලෝභී කුමන්ත්‍රණය ‘සමනළ’ ප්‍රජාව ලෙස අපි තරයේ හෙළා දකිමු. මිනිස් අයිතිවාසිකම් සුරක්ෂිත වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක බැව් අපේ විශ්වාසයයි. එය සුරක්ෂිත කිරීම වෙනුවෙන් අපි ‘සමනළයෝ’ අඛණ්ඩව සටන් කරන්නෙමු. ප්‍රචණ්ඩත්වයේ කුරිරු කුළු ගෙඩි පහරට වඩා, සාධාරණත්වය, සාමය, ගරුත්වය වෙනුවෙන් නැගෙන සමනළ තටු හඬින්ද ලෝකය වෙනස් කළ හැකිය. ඒ නිසා අපි ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා සමනළයෝ වන්නෙමු. අපට කරන සෑම අපහාසයක්ම, පහර දීමක්ම එකී අරගලය වෙනුවෙන් අපට කරන දිරිමත් කිරීමක්ම වන්නේය.

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සමනළයෝ

2018 නොවැ 07
ලිබර්ටි වටරවුම, කොළඹ

Continue reading this…

“සමාන බව සිතීමේ” නාමයෙන් පෙර පාසල් දරුවන්ට සමලිංගිකත්වය ඉගැන්වීමේ ව්‍යාපෘතියක් යනුවෙන් 2018.03.27 වන දින මාධ්‍ය සාකච්ඡාවකදී මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි දැක්වූ අදහස්වලට ප්‍රතිචාර දැක්වීම

30-03-2018

මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
සභානායක,
මහජන රාජ්‍ය සභාව,
544/ඒ,
නාවල පාර,
රාජගිරිය.

ගරු කටයුතු ස්වාමීන් වහන්ස,

“සමාන බව සිතීමේ” නාමයෙන් පෙර පාසල් දරුවන්ට සමලිංගිකත්වය ඉගැන්වීමේ ව්‍යාපෘතියක් යනුවෙන් 2018.03.27 වන දින මාධ්‍ය සාකච්ඡාවකදී ඔබවහන්සේ දැක්වූ අදහස්වලට ප්‍රතිචාර දැක්වීම.

ඊක්වල් ග්‍රවුන්ඩ් ආයතනය යනු ශ්‍රී ලංකාවේ ජීවත්වන සමරිසි, ද්විරිසි, සංක්‍රාන්ති සමාජභාවීය, අන්තර් ලිංගික හා තම ලිංගික අනන්‍යතාවය හා ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අනන්‍යතාවය ප්‍රශ්නභාවී ප්‍රජාවගේ (LGBTIQ) සමාජයීය, දේශපාලනික හා සංස්කෘතික අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කරන සංවිධානයකි. ඊක්වල් ග්‍රවුන්ඩ් ආයතනයේ මූලිකම අරමුණ ශ්‍රී ලංකාවේ ජීවත්වන සමරිසි, ද්විරිසි, සංක්‍රාන්ති සමාජභාවීය, අන්තර් ලිංගික හා තම ලිංගික අනන්‍යතාවය හා ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අනන්‍යතාවය ප්‍රශ්නභාවී ප්‍රජාවට කිසිදු ආකාරයක හිරිහැරයකින් කරදරයකින් තොරව ජීවත්වීමට අවශ්‍ය පරිසරය සකස් කර දීමයි. 1883 වර්ෂයේදී බ්‍රිතාන්‍ය යටත්විජිතවාදීන් විසින් හඳුන්වා දුන් ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයට අනුව ඔවුන් අපරාධකරුවන් හා සමාජ අපගාමීන් ලෙස සලකන අතර අධ්‍යාපන, සෞඛ්‍ය සේවා, රැකියා, නීතිමය හා සමාජ සේවා සපයන ආයතනවලදී ඔවුන් විවිධාකාරයේ වෙනස්කොට සැලකීමට, හිරිහැරවලට ලක්කිරීමට ලක්වේ.

මේ නිසා ඔවුන්ට නිසි අධ්‍යාපන අවස්ථාවන් ලබාදීම, වෙනස්කොට සැලකීම්වලින් තොරව සෞඛ්‍ය පහසුකම් ලබාගැනීම, නීතිමය වශයෙන් සාධාරණයක් ලබාදීම, පොලිස් වධ හිංසාවලින් ආරක්ෂා කිරීම, මානසික උපදේශනය සැපයීම යනාදිය වෙනුවෙන් ඊක්වල් ග්‍රවුන්ඩ් සංවිධානය කටයුතු කරයි. ඊක්වල් ග්‍රවුන්ඩ් ආයතනය සෑමවිටම ක්‍රියාකරන්නේ රටේ නීතිය හා ව්‍යවස්ථාවට අනුකූලව වන අතර ව්‍යවස්ථාමය හෝ නීතිමය රාමුවෙන් පිටතට යන කිසිදු ආකාරයේ ක්‍රියාවකට අනුබල දෙන්නේ නැත. විශේෂයෙන් ඊක්වල් ග්‍රවුන්ඩ් ආයතනය වයස අවුරුදු 18 ට අඩු දරුවන්ට අදාළව කිසිදු ක්‍රියාකාරකමක් සිදු නොකරන අතර, එවැනි ක්‍රියාවලට කිසිදු ආකාරයක අනුබල දීමක් හෝ එවැනි ක්‍රියාවන් සිදුකරන කිසිදු සංවිධානයක් සමග අත්වැල් බැඳගන්නේ හෝ නැත. එමෙන්ම සියලුම සමරිසි මිනිසුන් යනු ළමා අපචාරකයන්ය යනුවෙන් හා සමරිසියන් වෙනුවෙන් වැඩ කරන සංවිධානවල ඉලක්කය විෂම ලිංගික දරුවන් සමරිසියන් බවට පත්කිරීම යැයි වැරදි අදහසක් සමාජ ගත වෙමින් පවතී. ඊක්වල් ග්‍රවුන්ඩ් ආයතනය හෝ අප විසින් සිදුකරනු ලබන කිසිදු වැඩසටහනක හෝ එවැනි ආකාරයේ න්‍යාය පත්‍රයක් නොමැති බව දන්වා සිටිමි. ඔබවහන්සේ විසින් සිදුකරන ලද මාධ්‍ය සාකච්ඡාවේදී පෙරපාසල් දරුවන් හා පූර්ව ළමාවිය සංවර්ධනය වෙමින් පවතින වයසේ දරුවන් ඉලක්ක කරගනිමින් තින්ක් ඊක්වල් (Think Equal) නැමැති සංවිධානය විසින් සිදුකරනු ලබන වැඩසටහනක් පිළිබඳව ප්‍රකාශ කිරීමේදී ඊක්වල් ග්‍රවුන්ඩ් ආයතනයේ නමද ඈදාගනිමින් කරුණු ප්‍රකාශ කර තිබුණි. මෙම ලිපිය මගින් අප විසින් ගෞරව පූර්වකව ඔබ වහන්සේට දන්වා සිටින්නේ තින්ක් ඊක්වල් සංවිධානය සමග ඊක්වල් ග්‍රවුන්ඩ් සංවිධානයේ කිසිදු ආකාරයක සම්බන්ධකමක් හෝ ඔවුන් විසින් සිදුකරන කිසිදු ක්‍රියාකාරකමක් පිළිබඳ අපගේ වගකීමක් නොමැති බවයි. එමෙන්ම වයස අවුරුදු 18 ට වැඩි සමරිසි, ද්විරිසි, සංක්‍රාන්ති සමාජභාවීය, අන්තර් ලිංගික හා තම ලිංගික අනන්‍යතාවය හා ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අනන්‍යතාවය ප්‍රශ්නභාවී ප්‍රජාව වෙනුවෙන් අප විසින් සිදුකරන සියලුම ආකාරයේ වැඩසටහන් පිළිබඳ විනිවිදභාවය හා වගකිම් සහගත භාවය අප විසින් භාර ගන්නා බවයි.

ඊක්වල් ග්‍රවුන්ඩ් ආයතනය විසින් සිදුකරනු ලබන මානව හිමිකම් කාර්යයන් පිළිබඳ ඕනෑම අවස්ථාවකදී පරීක්ෂා කිරීමේ හෝ ප්‍රශ්න කිරීමේ අයිතිය ශ්‍රී ලංකාවේ ඕනෑම පුරුවැසියෙකුට ලබාදිය හැකිවන අතර, මේ පිළිබඳ ඔබ වහන්සේ ඇතුළු සංඝ රත්නය හමුවී කරුණු පැහැදිලි කිරීමටද අප සූදානම් බව ගෞරව පූර්වකව දැනුම් දෙමු.

එමෙන්ම ශ්‍රී ලංකාවේ වෙසෙන සමරිසි, ද්විරිසි, සංක්‍රාන්ති සමාජභාවීය, අන්තර් ලිංගික හා තම ලිංගික අනන්‍යතාවය හා ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අනන්‍යතාවය ප්‍රශ්නභාවී ප්‍රජාව වර්තමානයේදී මුහුණපාන විවිධ ප්‍රශ්න හා ඔවුන් විසින් දෛනිකව මුහුණ දෙන විවිධ හිරිහැර යනාදිය පිළිබඳවද ඔබ වහන්සේලාගේ අවධානය යොමුකරනු කැමැත්තෙමු. මෙලෙස තම ලිංගික හෝ මානසික කැමැත්ත නිසා විවිධාකාරයේ ගැටළුවලට මුහුණපාන, ඒ නිසාම සියදිවි නසාගන්නා හෝ විවිධාකාරයේ මානසික ප්‍රශ්නවලින් හෙම්බත් වෙන, බොහෝ අවස්ථාවලදී තම උපන් මව්රට හැරදා යන ඉතා දක්ෂ හා දීප්තිමත් අනාගතයක් හිමි දහස් සංඛ්‍යාත සමරිසි, ද්විරිසි, සංක්‍රාන්ති සමාජභාවීය, අන්තර් ලිංගික හා තම ලිංගික අනන්‍යතාවය හා ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අනන්‍යතාවය ප්‍රශ්නභාවී ප්‍රජාවගෙන් බහුතරයක් සිංහල බෞද්ධ අපේම මිනිසුන් වන බවද මතක් කරනු කැමැත්තෙමු. ඔවුන් සූරාකෑමෙන්, අපයෝජනය කිරීමෙන් හා දණ්ඩනයට ලක්කිරීමෙන් වළක්වා ගැනීමේ අභියෝගයට සමාජයක් වශයෙන් අපට මුහුණ දීමට සිදුවී ඇත. වසර 14 ක පමණ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ වෙසසෙන සුළුතර ලිංගික ප්‍රජාවට විවිධාකරයෙන් සේවා ලබාදීමෙන් අප විසින් ලබාගත් දැනුම, අත්දැකීම් හා ඔවුන් විසින් සමාජයෙන් ඉල්ලා සිටින්නේ මොනවාදැයි ඔබ වහන්සේලා සමග සාකච්ඡා කිරීමට අපි කැමැත්තෙමු. එමෙන්ම ඔවුන්ට එරෙහිව සිදුවන විවිධාකාරයේ හිංසන මගින් සිදුවන්නේ ශ්‍රී ලංකා ව්‍යවස්ථාවේ සඳහන් වන මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වීමකි.

අන්තර් ජාතික මනෝ විද්‍යා සංගමය, ලෝක සෞඛ්‍ය සංවිධානය යනාදී ලෝකයේ සෞඛ්‍ය සම්බන්ධ නිර්දේශ සපයන ජාත්‍යන්තර ආයතන පවා සමරිසිභාවය මානසික රෝගයක් හෝ ඇබ්බැහියක් නොව පුද්ගලයින්ගේ ජානමය හා මනස සකස්වෙන ආකාරය අනුව උපතින් තීරණය වන සාධකයක් බව පැහැදිලි කර තිබියදීත්, ඔවුන්ට එරෙහිව විවිධාකාරයේ හිංසන හා ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකිරීමත්, ඔවුන් සමාජයෙන් කොන්කිරීමට උත්සාහ කිරීමත් බෞද්ධ දර්ශනයේ මූලික ඉගැන්වීම්වලට පටහැණි වන බව අපගේ විශ්වාසයයි. ඔබ වහන්සේම ප්‍රකාශ කරන පරිදි ශ්‍රී ලාංකික සිංහල බෞද්ධයින් ලෙස අපි සියලුම සත්ත්වයින්ට කරුණාවෙන් හා මෛත්‍රියෙන් යුතුව සලකන අතර බෞද්ධයින් ලෙස සමාජ සමානත්වය හා සියලු ජාතීන්ට, සියලු වර්ගවලට, සියලු කුලවලට හා සියලු ලිංගික අනන්‍යතාවන්ගෙන් යුක්ත හා ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අනන්‍යතාවන් අයට සමානව ජීවත්වීමේ පරිසරයක වැදගත්කම ප්‍රගුණ කර ඇත්තෙමු. එහෙත් ප්‍රායෝගිකව එම තත්ත්වය එලෙසම සිදු නොවන අතර, ශ්‍රී ලංකාවේ ජීවත්වන විවිධ ලිංගික අනන්‍යතාවලින් යුතු ප්‍රජාව තමන් වෙනුවෙන් සාධාරණයක් ඉටුවෙන තුරු බලා සිටී. ඒ සඳහා ඔබ වහන්සේලාගේ නොමඳ කරුණාව හා ආශිර්වාදය අපි අපේක්ෂා කර සිටිමු.

අවසානයේ නැවත වතාවක් අප විසින් සහතික කර කියා සිටින්නේ තින්ක් ඊක්වල් සංවිධානය සමග අප සංවිධානයට කිසිදු ආකාරයක සම්බන්ධතාවයක් නොමැති අතර ඔවුන් විසින් සිදුකරන කිසිදු ආකාරයේ වැඩසටහනකට අපගේ අනුබලය නොලැබෙන බව ගෞරව පූර්වකව සඳහන් කරනු කැමැත්තෙමු. මේ පිළිබඳ ඔබ වහන්සේලා සමග ඕනෑම සාකච්ඡාවකට අපව සම්බන්ධ කරගැනීමට කරුණාකර equalground@gmail.com යන ඊමේල් ලිපිනයෙන් හෝ 0112806186 යන දුරකථන අංකයෙන් අපව සම්බන්ධ කරගන්න.

ඔබ වහන්සේලාගේ සියලු කටයුතු සාර්ථක වේවා!

ස්තූතියි.

මෙයට

විශ්වාසී,

රොසෑනා ෆ්ලේමර් කල්දේරා
විධායක අධ්‍යක්ෂිකා
ඊක්වල් ග්‍රවුන්ඩ්

Continue reading this…

Find peace of mind: free counseling service for LGBTIQ persons

LEARN MORE

ජාත්‍යන්තර කාන්තා දින සැමරුම 2018

ඔබ තරුණ ස්ත්‍රියක් වුවද, වැඩිහිටි ස්ත්‍රියක් වුවද පුරුෂාධිපත්‍යයය මගින් ඇතිකර තිබෙන අශිෂ්ටත්වය අබිබවමින් ඉදිරියට යාමට හා විෂමතාවලට එරෙහිව නැඟීසිටීම සඳහා සෑම අවස්ථාවකදීම උත්සාහ කළ යුතුය. එහිදී අද දින මෙලෙස සමරනු ලබන ජාත්‍යන්තර කාන්තා දිනය මගින් එවැනි පුරුෂාධිපත්‍ය හා විෂමතාවාදී අදහස් හා සමාජීය අගයන් මගින් ඇති බැඳීම් හා වැට කඩොළු බිඳමින් ඔවුන්ගේ බලාපොරොත්තු සඵලකරගැනීම සඳහා ඉඩ සලසාගත යුතුය.. මන්ද සුළුතර ප්‍රජාවක් ලෙස සමරිසි, ද්විරිසි හෝ සංක්‍රාන්ති සමාජභාවිය කාන්තාවන්ගේ නිහඬ බව ශ්‍රී ලංකාව තුළ දක්නට ලැබෙන නිසාවෙනි.

වෙනස්කොට සැලකීම හා අසමාන ආකාරයේ විවිධ සමාජයීය අගයන් ශ්‍රී ලංකාව තුළ කාන්තාවන් වෙත පවරා ඇත. එහිදී රටක ආර්ථිකයෙහි තත්ත්වය වර්ධනය පිළිබඳව පමණක් නොව සමාජය ගොඩනැංවිමට දායකත්වය සැපයීම පිළිබඳව තවත් සිතිය යුතුය. ඇය අපේ ආදරණිය අම්මාය, එසේම දියණිය හා සහෝදරියද වන්නී ය. තවත් විටෙක ඇය මිතුරියයි. එපමණක් නොව සෙනෙහෙබර බිරිඳ වන්නීය. වෘත්තීයෙන් ඇය වෛද්‍යවරියකි, ඉංජිනේරුවරියකි. විවිධාකාරයෙහි තනතුරු දරයි. නමුත් ඇය කාන්තාවක් ලෙස සමරිසි කාන්තාවක්, ද්විරිසි කාන්තාවක් හෝ සංක්‍රාන්ති සමාජභාවී කාන්තාවක් වීම යනු ඔවුන් සමාජ අගයන් ප්‍රතික්ෂේප කරන්නන් ලෙස නම් කරති. සමාජයෙන් ආන්තිකරණයට හා සමාජ අපකීර්තියට ලක් වුවෝ වෙති. දිනෙන් දින සමාජය විසින් ඔවුන් වෙත එල්ල කරනු ලබන මෙවැනි එදිරිවාදීකම් හමුවේ ඔවුන්ගේ දෛවය තීරණය වන්නේ අවාසනාවන්ත ආකාරයෙනි.

ජාත්‍යන්තර කාන්තා දිනය හරහා, “කාන්තාවන් නොමැති සමාජයක් අසම්පුර්ණ සමාජයක්” බව පසක් කල යුතුය. කාන්තාව සමරිසි , විෂමරිසි, සංක්‍රාන්ති සමාජභාවී හෝ ස්ත්‍රී පුරුෂ විවිධත්වය යනාදී වුවත් කිසිදු වෙනස්කමකින් තොරව ඔවුන්ගේ ජිවිත වෙනුවෙන් නැගී සිටීමේ අවශ්‍යතාව අතිශය වැදගත් කොට සැලකිය යුතුය. අප ඔවුන්ගේ සාර්ථකත්වයන් හා ජිවිත කතාවන් අගය කරමින් ඒවා බෙදාගැනීමට තරම් සංවේදී විය යුතුය. එහිදී සියලු ලිංගික දිශානතීන් ලෙස කාන්තාවන් එකට එක්ව තම අයිතීන් වෙනුවෙන් එකාවන් සේ හඬ නැගිය යුතුය.

මෙවර ජාත්‍යන්තර කාන්තා දින සැමරුම හා සමගාමිව සාර්ථක වූ කාන්තාවන් හා ඔවුන්ගේ අදහස් ඔබ සමගින් ඉතා ආඩම්බරයෙන් යුතුව අපි හුවමාරු කරගනිමු. විවිධාකාර ගැටළු හා ප්‍රශ්න හමුවේ පුරුෂාධිපත්‍ය, සමරිසි භීතිකාව හා ලිංගවාදී අදහස් තවත් පැතිකඩකින් වර්ධනය වෙත්දී ඔවුන් සැබෑ ලෙසම කාන්තා ශක්තිය පෙන්වමින් තම සාර්ථකත්වය කරා පියමන් කොට ඇත.

Continue reading this…

කොළඹ අභිමානය 2018

“කොළඹ අභිමානය” 14 වන සැමරුම සදහා මේ වසරට නියමිත සැමරුම් අවස්ථා වෙනුවෙන් දින බොහෝමයක් වෙන්කොට ඇත. සැමරුම් අංගයන් පිළිබඳව යාවත්කාලින තොරතුරු දැනගැනීමට අපගේ මෙම වෙබ් පිටුව වෙත නිතරම පිවිසෙන්න. එසේත් නැතිනම් අපගේ Colombo PRIDE 2018 ෆේස්බුක් පිටුවට සම්බන්ධ වන්න. කොළඹ අභිමානය 2018 හා සබැඳි සියලු අංගයන්, පැවැත්වීමට නියමිත ස්ථාන හා වේලාවන් ඇතුළු සියලු විස්තර වෙබ් පිටුව හා ෆේස්බුක් පිටුව හරහා ඔබව දැනුවත් කරනු ඇත.

2018 ජුනි 4 – මාධ්‍ය සංවේදීකරණ වැඩමුළුව

2018 ජුනි 9 සහ 10 – තරුණ කඳවුර

2018 ජුනි 12 – FFLGBTIQ සාකච්ඡාව (LGBTIQ පුද්ගලයින්ගේ පවුල් හා ඔවුන්ගේ
මිත්‍රයින් සමග වූ සාකච්ඡාව)

2018 ජුනි 14 – ගායන හා නර්තන කුසලතා දැක්ම

2018 ජුනි 16 – දේදුණු බස්රථ සැරිය

2018 ජුනි 17 – අභිමානී LGBTIQ සිනමා දැක්ම සමාරම්භය

2018 ජුනි 17 සිට 20 දක්වා – අභිමානී LGBTIQ සිනමා දැක්ම අභිමානී LGBTIQ සිනමා දැක්ම යනු 2006 දී ආරම්භ කරනු ලැබූ දකුණු ආසියාවේ පළමු Queer සිනමා උළෙළ වන අතර ශ්‍රි ලංකාවේ එකම Queer සිනමා දැක්මයි.

2018 ජුනි 17 සිට 20 දක්වා – ‘දේදුණු දැක්ම’ ඡායාරූප හා චිත්‍ර ප්‍රදර්ශන

2018 ජුනි 21 – අදහස් මංසල

2018 ජුනි 23 – දේදුණු අභිමානී සාදය

2018 ජුනි 24 – දේදුණු සරුංගල් සැණකෙළිය.

Continue reading this…

ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය හරහා නිර්අපරාධීකරණය සහ වෙනස්කොට නොසැලකීම පිලිබඳ නිර්දේශ ඉදිරිපත් කරයි.

EQUAL GROUND ආයතනය විසින්, ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය යටතේ රාජ්‍යයන්ට ඇති වගකීම් සමාලෝචනය කිරීමේ කමිටුව විසින් ශ්‍රී ලංකා රජයට ඉදිරිපත් කර ඇති නිර්දේශ පිළිගනු ලැබේ. EQUAL GROUND ආයතනය විසින් 2017 වසරේදී පැවැත්වූ 77 වන ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය සමුළුවට ඉදිරිපත් කරන ලද තේමාත්මක වාර්තාව මත පදනම්ව, සමරිසි කාන්තා, සමරිසි පුරුෂ, ද්විරිසි, සංක්‍රාන්ති සමාජභාවී සහ අන්තර්ලිංගික (LGBTI) ළමුන්ට එරෙහිව සිදුවන වෙනස්කොට සැලකීම් මැඩලීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ක්‍රියාකාරී හා සවිස්තරාත්මක උපයමාර්ග සැලසුම් සහ මනා ලෙස ඉලක්ක නිර්ණය කොටගත් ක්‍රියාමාර්ග ගතයුතු බවට වෙනස්කොට සැලකීම් පිලිබඳ ගැටළු සඳහා වන කමිටුව විසින් නිර්දේශ කරන ලදී. තවද, සම-ලිංගික සබඳතා නිර්අපරාධීකරණය කිරීම, නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් අතින් සංක්‍රාන්ති සමාජභාවී ළමුන්ට එරෙහිව සිදුවන හිංසනවලට වැටබැඳීම සහ, LGBTI ළමුන්ට සිදුවන ලිංගික අපයෝජන ඇතුළු අනෙකුත් ආකාරවල හිංසන සිදුකරන වැරදිකරුවන් නීතිය හමුවට රැගෙන ඒම හරහා, ශ්‍රී ලංකාව LGBTI ළමුන්ට සිදුවන වෙනස්කොට සැලකීම්වලට එරෙහිව සටන් කළ යුතු බවද ඔවුන් නිර්දේශ කර ඇත.

පාසල් විෂයමාලාව තුළට සමානාත්මතාවය සහ වෙනස්කොට නොසැලකීම සම්බන්ධ අනිවාර්ය වූ ඉගැන්වීමේ පුරුදු ඇතුළත් කිරීම සහ ඒවාට ගැලපෙන අයුරින් ගුරුවරුන් පුහුණු කිරීම ආදී කරුණු ද තවදුරටත් මෙම නිර්දේශ හරහා අවධාරණය කරයි.

ලිංගික අපහරණය සහ අපයෝජනය සම්බන්ධ ගැටළු පිලිබඳ සාකච්ඡා කිරීමේදී, සමරිසිභාවය අපරාධීකරණය කර තිබීම හා ඒ හා සම්බන්ධයෙන් පවතින අපහාසාත්මක තත්ත්වය, සහ ලිංගික අපයෝජන නිසා පිරිමි ළමුන් විසින් මුහුණපෑ හැකි ‘පුරුෂත්වය ගිලිහීම’ වැනි කරුණු සමග බැඳී ඇති ලැජ්ජා සහගත තත්ත්වයන් හේතුකොටගෙන පවතින පුරුෂ දුෂණය පිළිබඳ පවතින අඩු නීතිමය අවධානය සහ පිරිමි ළමුන් මුහුණපාන ලිංගික අපයෝජනයන් පිළිබඳ අඩුවෙන් කරුණු වාර්තාවීම සම්බන්ධයෙන් කමිටුවේ අවධානයට ලක්ව ඇති බවද සඳහන් කර තිබුණි. ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 363 වගන්තිය සංශෝධනය කිරීම මගින් පිරිමි ළමුන් විසින් මුහුණපාන බාලවයස්කාර දුෂණයන් අපරාධීකරණය කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග ද මෙම කමිටුව විසින් නිර්දේශ කරයි. තවදුරටත්, මේ සම්බන්ධයෙන් දැනුවත්භාවය වර්ධනය කිරීම, හිංසන පිළිබඳ පවතින අපහාසාත්මක තත්ත්වය නැතිකිරීම සහ හිංසන පිළීබඳ පැමිණිලි කිරීම සඳහා ළමා-හිතකාමී, රහසිගත හා පහසුවෙන් ලඟාවිය සේවා ඇතිකිරීම තුළින් හිංසන පිලිබඳ තොරතුරු වාර්තා කිරීමේ ක්‍රියාවලිය ධෛර්‍යමත් කිරීම ආදී දෑ සිදුකිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ඔවුන් විසින් රජයට බලකර සිටී.

LGBTI ප්‍රජාව සම්බන්ධයෙන් වන පහත දැක්වෙන නිර්දේශ අවධානය යොමුකිරීමට අපි කැමැත්තෙමු.

C කොටස. පොදු ප්‍රතිපත්ති
වෙනස්කොට නොසැලකීම

16. වැඩිහිටියන්ට වඩා ළමුන් යටහත් බවට පවතින පුළුල් මතය නැතිකිරීම සහ ළමුන්ට අයිතිවාසිකම් හිමි පුද්ගලයින් ලෙස සැලකීමට, වැඩිහිටියන් සහ ළමුන් ඉලක්ක කොටගත් දැනුවත්භාවය වර්ධනය කිරීමේ ක්‍රියාමාර්ග ගැනීම සඳහා මෙම කමිටුව විසින් රාජ්‍යය පාර්ශවය උනන්දු කර සිටී.
තවද, රාජ්‍යය පාර්ශවයන් විසින් පහත දැක්වෙන දෑ සිදුකිරීම සුදුසු බව කමිටුව විසින් නිර්දේශ කර සිටී.

b) වෙනස්කොට සලකන සුළු හෝ අවදානම් සහගත තත්ත්වවල සිටින ගැහැණු ළමුන් ඇතුළු ළමුන්, ජනවාර්ගික හෝ ආගමික-ජනවාර්ගික හෝ සුළුතර ආදිවාසී කණ්ඩායම්වලට අයත් ළමුන්, කුල සංකල්පය මත පදනම්වූ වෙනස්කොට සැලකීම්වලට ලක්ව ඇති ළමුන්, ග්‍රාමීය පලාත්වල ජීවත්වන ළමුන්, සරණාගතවූ හෝ අභ්‍යන්තරව ඉවත්කිරීම්වලට ලක්වූ ළමුන්, වීදිවල ජීවත්වන ළමුන්, විදේශගත රැකියා නියුක්තිකයින්ගේ ළමුන්, විවිධ ආයතනවල රැකවරණය යටතේ සිටින ළමුන්, අබාධිත ළමුන් සහ සමරිසි කාන්තා, සමරිසි පුරුෂ, ද්විරිසි, සංක්‍රාන්ති සමාජභාවී සහ අන්තර්ලිංගික (LGBTI) ළමුන්ට එරෙහිව සිදුවන වෙනස්කොට සැලකීම් තුරන් කිරීමට අවශ්‍ය සමාජමය ක්‍රියාමාර්ග ඇතුළු, මනා ලෙස සැලසුම් සහ ඉලක්ක කරන ලද ක්‍රියාමාර්ග ඇතුළත් පුළුල්, ක්‍රියාකාරී උපායමාර්ග අනුගමනය කිරීම.

c) සම්මතික සම-ලිංගික සබඳතා නිර්අපරාධීකරණය කිරීම, නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් අතින් සංක්‍රාන්ති සමාජභාවී ළමුන්ට එරෙහිව සිදුවන හිංසනවලට වැටබැඳීම සහ, LGBTI ළමුන්ට සිදුවන ලිංගික අපයෝජන ඇතුළු අනෙකුත් ආකාරවල හිංසන සිදුකරන වැරදිකරුවන් නීතිය හමුවට රැගෙන ඒම හරහා LGBTI ළමුන්ට සිදුවන වෙනස්කොට සැලකීම්වලට එරෙහිව සටන් කිරීම.

f) වෙනස්කොට නොසැලකීම සහ සමානාත්මතාවය පිළිබඳ පරිච්ඡේදයක් සෑම වයසකම ළමුන් සඳහා වන අනිවාර්ය පාසැල් විෂය නිර්දේශයට ඇතුලත් කිරීම, ඒ හා සම්බන්ධ ඉගැන්වීම්වලට අවශ්‍ය කරුණු මනා ලෙස යොදාගැනීම සහ ඒ සම්බන්ධයෙන් ගුරුවරුන්ව නිරන්තරයෙන් පුහුණු කිරීම.
E කොටස. ළමුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය
ලිංගික අපහරණය සහ අපයෝජනය

23. ළමුන් විසින් මුහුණපාන ලිංගික අපහරණ සහ අපයෝජන වලට එරෙහිව සටන්කිරීමට ගෙන ඇති වෑයම් පිළීබඳ දැනුම් දීමෙන් පසුව පවා, කමිටුව විසින් විසින් පහත දැක්වෙන කරුණු කෙරෙහි දැඩි ලෙස සැලකිලිමත් විය.

b) පිරිමි දුෂණය සම්බන්ධයෙන් පවතින අප්‍රමාණවත් නීතිමය අවධානය සහ සමරිසිභාවය අපරාධීකරණය කර තිබීම, ඒ හා සම්බන්ධයෙන් පවතින අපහාසාත්මක තත්ත්වය සහ ලිංගික අපයෝජන නිසා පිරිමි ළමුන් විසින් මුහුණපෑ හැකි ‘පුරුෂත්වය ගිලිහීම’ වැනි කරුණු හේතුවෙන් පිරිමි ළමුන් ලක්වන ලිංගික අපයෝජනයන් පිළිබඳ අඩුවෙන් කරුණු වාර්තාවීම.

24. ළමුන් යොදා වැඩිහිටි චිත්‍රපට නිපදවීම ඇතුළු ළමා අපයෝජන හා අපහරණ වැලැක්වීම සහ ළමා වින්දිතයින් සම්බන්ධ සමාජ අනුකුලතාවය සහ නැවත පෙර තත්ත්වයට පත්වීම ප්‍රවර්ධනය කිරීම සඳහා ඵලදායී සහ පුළුල් ප්‍රතිපත්තියක් ගොඩනැගීමට රාජ්‍ය පාර්ශවවලට කමිටුව විසින් බලකර සිටී. මෙහිදී ළමුන්ව අවධානම් තත්ත්වවලට පත්වීමට හේතුවන මුලික හේතුද සැලකිල්ලට ගත යුතුය. රාජ්‍ය පාර්ශව විසින් පහත ක්‍රියාමාර්ග ගතයුතු බව එම කමිටුව විසින් තවදුරත් බලකර සිටී.

b) පිරිමි ළමුන් විසින් මුහුණපාන බාලවයස්කාර දුෂණයන් අපරාධීකරණය කිරීම සඳහා දණ්ඩ නීති සංග්‍රහයේ 363 වගන්තිය ප්‍රතිශෝධනය කිරීම, පිරිමි ළමුන් විසින් මුහුණපාන දුෂණය පිලිබඳ වාර්තාකිරීම් දිරිමත් කිරීම සඳහා මහා පරිමාණ දැනුවත්භාවය වැඩිකිරීමේ ක්‍රියාමාර්ග ගැනීම, ඒ හා සම්බන්ධයෙන් පවතින අවමන් සහගත සැලකීම් දුරු කිරීම සහ එවැනි හිංසන සම්බන්ධයෙන් වාර්තාකිරීමට පහසුවෙන් ලඟා විය හැකි, රහසිගත, ළමා-හිතකාමී වාර්තාකිරීමේ විධික්‍රම ඇතිකිරීමට කඩිනම් පියවර ගැනීම.

හරහා සම්පුර්ණ අවසන් නිරීක්ෂණ වාර්තාව කියවිය හැක.

Continue reading this…